පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන් මැතිවරණ ජයග්‍රහණය අභිමුව.

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන් මැතිවරණ ජයග්‍රහණය අභිමුව.

§ වංචාවට හා දූෂණයට විරුද්ධව හඬ නගමින් ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය මැතිවරණයේ ඉදිරියටම.

§ ඔහු තරඟ කරන්නේ සාධාරණ අයුරින්ද? ඇතැම්හු ප්‍රශ්ණ කරති.

උතුරු ලාහෝරයේ හොකී පිටියක, පීටීඅයි පක්ෂයේ ආධාරකරුවෝ පුටු පේලි මත නොඉවසිල්ලෙන් රැඳී සිටිති. ඒ අතර නිවේදකයා විසින් ආරාධනා කරන ලදුව, හැටපස් හැවිරිදි ක්‍රිකට් තාරකාව ඉම්රාන් ඛාන් නැගී සිට තේජාන්විතව මයික්‍රෆෝනය වෙත එන්නේය.

ලබන බදාදා දින පැවැත්වීමට නියමිත පාකිස්ථානු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂයට එල්ල කිරීමට ඉතිරිව ඇත්තේ එක පිති පහරක් පමණි. සුප්‍රසිද්ධ ධනවතෙකු ලෙස70 සහ 80 දශකය පුරාවට ලන්ඩනයේ රාත්‍රී සමාජශාලාවල නොනවත්වා සාද පවත්වමින් සෙල්ලක්කාර දිවියක් ගෙවූ ඉම්රාන් ඛාන්, එම ජීවන රටාවට සමු දී පසුගිය දශක දෙක පුරාවට හඹාගිය දේශපාලන ඉලක්කය සාක්ෂාත් කරගැනීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයකි.

“මෙය පාකිස්ථානය වෙනස් කිරීමට උදා වූ මහඟු අවස්ථාවක්, මෙවන් අවස්ථාවක් ඔබට නැවත නැවතත් ලැබෙනුයේ නැහැ” යැයි, අටදහසක තරම් විශාල වූ ජන සමූහයක් අමතමින්, පාකිස්ථානයේ ශදාරා බාග් හි දිළිඳු උප නගරයක දී ඔහු ප්‍රකාශ කළේය.

ඒ අතරතුර පිරිසක් ඛාන්ගේ රූපය රැගත් ටී-ෂර්ට්, ෆෝන් කවර ආදියත් විකුණති. 1992 ක්‍රිකට් ලෝක කුසලානය පාකිස්ථානයට දිනා දුන් කණ්ඩායම් නායක තරුණ ඛාන්ගේ රුව රැගත් අලාකාර කළ කොඩි ආදියත් ඒ අතර වෙයි. ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් පසු 1996දී ඉම්රාන් ඛාන් විසින් පීටීඅයි පක්ෂය බිහි කළේ දූෂණයට හා වංචාවට තිත තබන බවට පාකිස්ථානුවන්ට පොරොන්දු වෙමිනි. එහෙත් වර්ෂ 2013 තුරුම පකිස්ථානු පාර්ලිමේන්තුවේ පීටීඅයි පක්ෂට හිමිවූයේ එක් අසුනක් පමණි. එනමුත් වර්තමානය වන විට ඉදිරි රජයේ පුරෝගාමී පක්ෂය බවට පත්වීමට තරම් පීටීඅයි පක්ෂය මහා පිම්මක් පැනගැනීමට සමත්ව ඇත.

වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 10ක (පවුම් බිලියන 7.6) පමණ අති විශාල මහජන මුදලක් පාකිස්ථානයෙන් නීතිවිරෝධීව විදෙස් ගත කරන බව ප්‍රකාශ කරන ඛාන්, ”ද්‍රෝහීන් විසින් අප රට දුප්පත් කමට ඇද දමා ඇත යැයි චෝදනා කරයි.

2013 වසර වන විටත් පාකිස්ථාන පාර්ලිමේන්තුවේ එක් අසුනක් පමණක් හිමිව තිබූ පීටීඅයි පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් කෙරෙහි ජනප්‍රසාදය හදීසියේම ඉහළ යෑමට ප්‍රධාන හේතුව වූයේ ඔහු විසින් පසුගිය වසරේදී වංචා දූෂණ පදනම් කරගනිමින්, පාකිස්ථානයේ අගමැති නවාස් සෙරීෆ් දූරයෙන් පහ කිරීම සඳහා පාකිස්ථානු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොණු කරන ලදුව, එම පෙත්සම ඵල දරමින් මේ මස මුලභාගයේදී අගමැතිවරයා වසර දහයකට සිරගෙට නියම වීමය. පීටීඅයි පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඛාන්ගේ රැලි විකාශය වන විට රූපවාහිනිය පණගන්වා සිරදඬුවම් විඳින හිටපු අගමැතිට ඒවා බලෙන් නැරඹීමට සලස්වන බවය.

කෙසේ නමුත් අදවන විට පාකිස්ථානයේ ජනතාව අතර ලෙහෙසියෙන්ම බෙදීමක් ඇතිකිරීමට හැකියාවක් ඇති චරිතයක් බවට පත්ව සිටින ඛාන් සිය දේශපාලන ව්‍යපාරය මෙහෙයවනු ලබන අන්දම හේතුවෙන් වර්තමානයේ පාකිස්ථානු දේශපාලනයේ උණුසුම් සහගත තත්ත්වයක් උද්ගතවී තිබෙන බවට ප්‍රකාශ වෙයි. ඔහු විසින් සිරගත වූ හිටපු අගමැතිවරයාගේ පක්ෂය වූ පීඑම්එල්-එන් පක්ෂයේ ආධාරකරුවන් ‘බූරුවන්’ ලෙස හැඳින්වීම එම උණුසුම් සහගත තත්ත්වය තවදුරටත් තීව්ර වීමට හේතුවක්වී තිබෙනවා. එමෙන්ම ඛාන්ගේ එම ‘බූරු’ ප්‍රකාශයෙන් පසුව පීටීඅයි පක්ෂයේ අනුගාමිකයින් පිරිසක් විසින් පහර දීම හේතුවෙන් සැබෑවටම බූරුවෙකු මිය ගිය බවට සත්ත්ව සුභශාධන සංගමයක් වාර්තා කර ඇත.

ඛාන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ එයින් අවසන් වන්නේ නැහැ. පසුගිය ජූලි මස 13 වන දින අයිසිස් යැයි ප්‍රකාශිත බෝම්බකරුවෙකු විසින් පාකිස්ථානයේ නැගෙනහිර පළාතේ බලුකිස්ථානයේ එල්ල කරනු ලැබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 149ක් මිය ගිය අතර ඒ අවස්ථාවේදී පිළිබඳ ට්විටර් හරහා පණිවුඩයක් නිකුත් කළ ඉම්රාන් ඛාන් ඉඟිකර සිටියේ එම ප්‍රහාරය පිටුපස හිටපු අගමැතිගේ පීඑම්එල්-එන් පක්ෂය සිටින බවයි. එම ප්‍රහාරය මගින් නීතිය ඉදිරියේ දුර්මුඛව සිටින නවාස් සෙරීෆ්ගේ තත්ත්වය පිළිබඳ යොමුව ඇති ජනතා අවධානය වෙනතක හැරවීම ඔවුන්ගේ අරමුණ වූ බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

‘මට පුදුම හිතෙනවානවාස් සෙරීෆ් ප්‍රශ්ණයක පැටලුනු ඕනෑම අවස්ථාවක පාකිස්ථානු දේශසීමාවල තත්ත්වය උනුසුම් වීමටත්, ත්‍රස්තවාදී ක්‍රියා ඉහළ යෑමටත් පටන් ගන්නේ ඇයි කියලා? ඒක හුදු අහඹුවක්ම ද?’ ඔහු අසයි.

ඛාන්ට එල්ලවන තවත් චෝදනාවක් වන්නේ හමුදා කුමන්ත්‍රණවලින් පිරි 71 වසරක ඉතිහාසයක් ඇති   පාකිස්ථානයේ ස්ථාපිත බලගතු හමුදාවේ සහයෝගය තමන් වෙත ලබාගැනීම හරහා ඛාන් අසාධාරණ ලෙස දේශපාලනිකව වාසි ලබන බවටයි.

 සෙරීෆ් ඡන්දය ගැන අඬන්නේ හරියට මේක තමංගෙම අම්පය කෙනෙක් පාවිච්චි කරන්න බැරි උන පලවෙනි අවස්ථාව වගෙයි,” ඛාන් ෂාධරා හී ජන රැලියක් අමතමින් උපහාසයෙන් පවසනු ලැබුවේ ඒ අතරවාරයේදීය.

දේශපාලනිකව ගත්විට ඉම්රාන් ඛාන්ට බලය ලබාගැනීම සඳහා ඉතා පහසුවෙන් කෙටි මාර්ග භාවිතා කිරීමට අනුග්‍රහය හා ශක්තිය ලැබී ඇති බවට ඇතැම් විශ්ලේෂකයින් ප්‍රකාශ කරනවා. ඔවුන්ට අනුව පසුගිය වසර පහ තුළ හිටපු අගමැතිගේ පීඑම්එල්-එන් පක්ෂයේ ආණ්ඩුකරනය පැහැදිලි ලෙස ධනාත්මක තත්ත්වයක පැවතී ඇති අතර, විශේෂයෙන්ම අතීතයේ රටට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට නොහැකිව තිබූ තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් අවම කරගැනීමට ඔවුන් එම පස් වසර තුළ සමත්ව තිබුණා. පාකිස්ථානු දේශපාලන විචාරකයෙකු වන ෆාසි සකාට අනුව පීඑම්එල්-එන් පක්ෂය ඉලක්ක කරගත් හමුදා සහය සහිත සංවිධානාත්මක ව්‍යාපාරය නොවන්නටත්, විශේෂයෙන්ම අගමැතිවරයාගේ පක්ෂයට සහාය දෙන මාධ්‍ය වසා දමන්නටත්, දේශපාලකයින්ට බලපෑම් කිරීම හරහා ඔවුන් අධෛර්යමත් කිරීමටත් හා අධිකරණ හරහා ප්‍රතිවාදී දේශපාලන නායකයින් දඩයම් කිරීම් නොවන්නට ‘මෙය ඛාන්ගේ ඡන්දය නොවන්නට ඉඩ තිබුණා’

|—

‘අපේ රට යුරෝපය නොවෙයි, ඔබ පෙනී සිටින්නේ කිනම් අරමුණු සඳහාද යැයි කියූ පමණින් ජනතාව ඔබට ඡන්දය දෙන්නේ නැහැ’ පසුගියදා ඩෝන් පුවත්පත සමග පැවති සාකච්ඡාවකදී ඛාන් සංවේගයෙන් පවසා තිබුණා. ඒ පසුගිය 2013 මැතිවරණයේදී සිය අරමුණු සමග බිම්මට්ටමින් ජනතාවට අමන්ත්‍රණය කළ ඔහුට අවසානයේ වේදිකාවෙන් වැටී බෙහෙත් දාගැනීමට සිදුවූ කර්කෂ අත්දැකීම සමග බව පෙනී යයි.

එම අත්දැකීමත් සමග ‘අලුත් පකිස්ථානයක්’ – හොඳ පාසල්, හොඳ රෝහල්, ආදිය තේමා කරගෙන ඇරඹි ඛාන්ගේ පීටීඅයි පක්ෂය තවත් එක් සම්ප්‍රදායික දේශපාලන ක්‍රියාමාර්ගයකින් නතර විය. ඒ හරහා අද වන විට ඛාන්ගේ පක්ෂයේ තුනෙන් දෙකක් පමණ සිටින්නේ අලුතින් එක්කරගනු ලැබූ, බොහෝ විට දූෂණ චෝදනා ද සහිත, කෙසේ නමුත් ඡන්ද පදනමක් සහිත පලපුරුදු දේශපාලකයින්ය. පක්ෂයට අලුතින් එක්වූ මෙම චරිත නිසා පීටීඅයි පක්ෂයට ඡන්දයට විශාල බලපෑමක් එල්ල කෙරෙන පන්ජාබ් පළාත දිනාගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඍජුව තෝරා පත්වන පාකිස්ථානයේ ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 272න්  අඩකට වඩා පැමිනෙන්නේ පුන්ජාබ් ප්‍රාන්තයෙන් වීම එයට හේතුවයි.

කෙසේ නමුත් පීටීඅයි පක්ෂයේ හිටපු ආධාරකරුවන් පවසන්නේ, අදවන විට බහුතරයකගේ මතයවී ඇත්තේ පක්ෂය දූෂණ විරෝදී වේදිකාවෙන් ඉවත්ව ගොස් ඇති බවටයි. ‘පීටීඅයි කූඩුවේ අද පරපුටුවන් සිටිනවා’ පක්ෂයේ සෙවනැලි කැබිනට්ටුවේ (Shadow Cabinet) හිටපු ආරක්ෂක ලේකම් වරයා වන බ්‍රිගේඩියර් සැම්සන් ෂැරිෆ් පවසා සිටිනවා. ‘ඛාන්ගේ හිස වටා දැන් කපුටන් රැසක් සිටිනවා… ඔහු ජනතාව කැඳවාගෙන යන්නේ කොහේටදැයි කවුරුත් දන්නේ නැහැ’

ලාහොර්හි උපත ලැබා, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලද, ඛාන්ගේ ජීවිතය අද වන විට පුද්ගලිකව ද විශාල පරිවර්තනයකට ලක්ව ඇති බව පෙනී යනවා. සුප්‍රසිද්ධ යුරෝපීය චරිත සමග සමාජශාලා වල කමින් බොමින් සාද පවත්වමින් කල්මැරූ ඔහු අදවන විට පාකිස්ථානයේ තදබල ඉස්ලාමික නීති වෙනුවෙන් පෙනී සිටින්නේ බටහිර ඌරුවට ලැදි පාකිස්ථානු මධ්‍යස්ත මතවාදීන් (Liberals) විවේචනය කරමිනි.

පසුගිය වසරේ (2017) ඔහුගේ පක්ෂය විසින් පාලනය කරනු ලැබූ ප්‍රාදේශීය ආණ්ඩුවක් විසින්, තලෙයිබාන් සටන්කරුවන්ගේ අංකුර බිහි කරන ජිහාඩ් සරසවියකට ඩොලර් මිලියන තුනක් ප්‍රධානය කරනු ලද්දේ මධ්‍යස්ථ මතදරන්නන් තුළ අනාගත ‘තලේබාන් ඛාන්’වරයෙකු පිළිබඳ සැක පහල කරමින්. මීට අමතරව තවත් අවධානයට ලක්වූ කරුණක් වන්නේ ඔහුගේ විවාහයන්ගේ රටාවය, මුල්වරට ඔහු විවාහ කරගත්තේ ජෙමීමා ඛාන් නම් සුන්දර බ්‍රිතාන්‍ය කාන්තාවකි. 2004 වර්ෂයේදී ඇයගෙන් දික්කසාද වන ඛාන්, රෙහාම් ඛාන් නම් පාකිස්ථානු මාධ්‍යවේදිනියක සමග 2015 දී විවාහ වන අතර වසරකට අඩු කාලයක් තුල ඇය දික්කසාද කර දමා ඔහුගේ ආධ්‍යාත්මික උපදේශකවරිය ලෙස ප්‍රකාශ කරන බුෂ්රා මනීකා නම් කාන්තාව රහසේම විවාහ කරගන්නා ලදී.

කෙසේ නමුත්, පවතින ඡන්දයට දැඩි ලෙස අහිතකර ඛාන්ගේ සෙල්ලක්කාර අතීතය ආවර්ජනය කරනා අවතාරයක් නැවත කරලියට පැමිණියා. ඒ මේ මස පිට වූ, ඔහුගේ දෙවනි බිරිය වූ මාධ්‍යවේදිනී රෙහාම් ඛාන් විසින් රචිත ග්‍රන්ථයක් මගින්. අදාල ග්‍රන්ථයේ නිකුත් වීමත් සමගම එහි PDF විද්‍යුත් පිටපත් පකිස්ථානයේ ඉතාම ජනප්‍රිය වට්ස්ඇප් ජංගම දුරකථන වැඩසටහන හරහා සීග්‍රයෙන් පැතිර යන ලද බව සඳහන්.

ඛාන් විසින් රාත්‍රියකට කොකේන් ග්‍රෑම් හයක් පමණ භාවිත කරන බවත්, අනියම් බිරියන්ට දාව දරුවන් කිහිප දෙනෙක්ම සිටින බවටත් එමගින් කියා සිටින ඇය, ඔහු විසින් පීටීඅයි පක්ෂයේ කාන්තාවන්ට දුරකථන හරහා නුසුදුසු දේ යවනු ලැබූ බවද දුටුවේ පවසා සිටිනවා.

‘ඇය නිල් චිත්‍රපට නිලියක් පමණයි’ මේ පිළිබඳ අදහස් දක්වමින් සල්ෆිකාර් අලි ඛාන් නම් පීටීඅයි පක්ෂ ආධාරකරුවෙකු පවසයි. ‘ඇය ඔය ග්‍රන්ථය ලියා ඇත්තේ සිරගතව සිටින අගමැතිවරයාගේ පීඑම්එල්-එන් පක්ෂය සමග එක්වෙලයි’ යනුවෙන් සල්ෆිකාර් විසින් පීටීඅයි පක්ෂයේ අනෙක් ආධාරකරුවන් විසින්ද එකහෙලා ගෙන එන තර්කයම ගෙන හැර දක්වයි.

එම ග්‍රන්ථය සැබෑලෙසම ඡන්දය ජයගැනීමට යෙදූ කූටොපායක් නම්, එය අසාර්ථක ව ඇති බව පැවසිය යුතුය. මන්ද යත් ඛාන්ගේ පීටීඅයි පක්ෂයට ඛාන්ගේ නායකත්වයෙන් ඒකාබද්ධ ආණ්ඩුවක් පිහිටුවීමට ඇති හැකියාව මේ වන විට 75%ක පමණ සම්භාවිතාවයකට පැමිණ ඇති බව ප්‍රකාශ වන නිසාය. ඇතැම් ආධාරකරුවන් ප්‍රසිද්ධියේම ඛාන්ට සහයෝගය දක්වමින් හමුදාව විසින් සිදුකරන බලපෑම් සමරති.

‘ඔවුන් සම්බන්ධයි කියමු, ඒත් ඔවුන් රටක් හැටියට පාකිස්ථානයට පක්ෂවයි කටයුතු කරන්නේ’ 25 හැවිරිදි උමාර් ඉක්බාල් කියයි. ‘ඔබ පීඑම්එල්-එන් වෙත ඡන්දය දුන්නත්, එය පීටීඅයි වෙත යාවි’ යැයි කියන්නේ 19 හැවිරිදි සේසාර්ය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ ‘පීඑම්එල්-එන් වෙත ආණ්ඩුවක් පිහිටුවන්නට කිසිඳු හැකියාවක් නැහැ. ඔවුන්ට සහය දක්වන්න කෙනෙක් නැහැ’ යනුවෙනි, හමුදාව පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ‘ඔවුන් දවාගන්නට පන්දුව යැවිය යුතු ආකාරය ඔවුන් දන්නවා’ ලෙසය.

ඒ අනුව අද වනවිට පාකිස්ථානයෙ පවතින දේශපාලනමය හා සමාජයීය තත්ත්වය ඛාන්ට ආශිර්වාදාත්මක එකක් බව පෙනෙන්නට ඇත. නමුත් ඉදිරියේදී පැමිණීමට නියමිත ආර්ථික අර්බුදයත්, දේශපාලන අස්ථාවරභාවයත්, බලසම්පන්න පාකිස්ථානු හමුදා සංස්ථාපිතයත් පාලනය කරගනිමින් විකට්ටුව රැකගැනීමට, පාකිස්ථානයේ මීලඟ ‘නායකයා’ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇත.

Facebook Comments