රාජ්‍ය ආගම?

රාජ්‍ය ආගම?
ශ්‍රී ලංකා රාජ්‍යය අනාගමික කළ යුතුයැයි යම් පිරිසක් හඬ නගති. ඔවුන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තිය මගින් මෙරට රාජ්‍ය ආගම බවට බෞද්ධාගම පත්කර ඇති බවයි.
ඇත්තටම මේ 9 වන වගන්තිය නිසා ශ්‍රී ලංකාව ආගමික රාජ්‍යයක් වී තිබේද? අන් ලෙසකින් කිවහොත් නිලවශයෙන් අනාගමික රාජ්‍යයක් වන ඉන්දියාව සිය බහුතර ආගමට (හින්දු) දී නොමැති විශේෂ වරප්‍රසාදිත තත්ත්වයක් ලංකාව තම බහුතර ආගමට (බෞද්ධ) පිරිනමා තිබේද? කෙටි පිළිතුර ‘නැත’ යන්නයි. මේ 9 වගන්තිය හුදෙක්ම ව්‍යවස්ථාමය සැරසිල්ලක් පමණක් වන අතර කිසිදු ආකාරයක නීතිමය වගකීමක් එමගින් ඇති කෙරෙන්නේ නැත. ලංකාවේ ආගම සහ රාජ්‍යය අතර ඇත්ත සම්බන්ධය ඇතිකෙරෙන්නේ මේ 9 වගන්තියෙන් නොව, එම ව්‍යවස්ථාවේම 10, 12 සහ 14 (1) යන වගන්තිවලිනි. 10 වගන්තියෙන් ඕනෑම ආගමක් ඇදහීමට නිදහසත්, 14 වගන්තියෙන් තම ආගමික කටයුතු සහ ආගම ප්‍රචාරය සඳහා නිදහසත් පුරවැසියන්ට හිමි වී ඇති අතර 12 වගන්තියෙන් කිසිම පුද්ගලයෙකුට තම ආගම නිසා විශේෂ වරප්‍රසාදයක් හෝ අසාධාරණයක් සිදුවීම වළක්වා ඇත. ඒ අනුව පෙනී යන්නේ ඉන්දියානු ව්‍යවස්ථාවේ රාජ්‍යය සහ ආගම අතර සම්බන්ධය විස්තර කරන 25, 26  සහ 27 යන වගන්තිවල සාරය එපරිද්දෙන්ම පෙර කී අපේ ව්‍යවස්ථා වගන්තීන්හි දක්නට ඇති බවයි.
ඇත්තම කිවහොත්, සමහර අතින් අපේ සුළුතර ආගමිකයන්, බෞද්ධයන්ට වඩා වරප්‍රසාදිතය. නිවාඩු ප්‍රමාණය මීට හොඳ උදාහරණයකි. පුන්පෝය නිවාඩු දොළහක් වසරකට ඇති නිසා ලංකාවේ වැඩිපුරම නිවාඩු ඇත්තේ බෞද්ධයන්ටයැයි බොහෝ දෙනා හිතුවත් එය වැරදිය. ලංකාවේ වැඩිම ආගමික නිවාඩු ප්‍රමාණය ඇත්තේ කිතුනුවන්ටයි. අපි දැන් අනුගමනය කරන්නේ ක්‍රිස්තියානි දින දර්ශනය වන බැවින් ඔවුන්ගේ සබත් දිනය වන ඉරිදා නිවාඩුව මගින් ඔවුන්ට වසරකට ආගමික නිවාඩු 52 ක්ම හිමිය. බෞද්ධයන්ගේ සහ කිතුනුවන්ගේ මේ නිවාඩු ඔවුන්ගේ ආගම සමග සම්බන්ධවුවත් ඒවා අනෙක් අයටත් භුක්ති විඳිය හැකිය. නමුත් මීට වෙනස්ව, මුස්ලිම්වරුන්ට පමණක් හිමි විශේෂ නිවාඩු පවතී. ආයතන සංග්‍රහයේ XII (2) අනුව මුස්ලිම්වරුන්ට සෑම සිකුරාදා දිනයකම පස්වරු එකේ සිට පැය දෙකක් නිවාඩු දිය යුතුය. එසේම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2012 අනුව රාමසාන් මාසයේ සෑම දිනකම එම නිවාඩුව හිමිය. මේවා, දිනවලට පෙරළුවහොත්, හිමිවන නිවාඩු ප්‍රමාණය අවම වශයෙන් දින දහනමයකි. එසේම ආයතන සංග්‍රහයේ XII (12) වගන්තියට අනුව මුස්ලිම් රාජ්‍ය සේවිකාවකගේ ස්වාමියා මියගියහොත් එවිට ඇයට මාස හතරකුත් දින දහයක ඉද්දා නිවාඩුවක් හිමිය. දික්කසාදයකදී එය මාස තුනකි. භාවිතයට නොගත් නිවාඩු නොමැතිනම් එවිට ඇයට එම කාලය සඳහා අඩවැටුප් ගෙවිය යුතුය. මේ අනුව පෙනී යන්නේ නිවාඩු අතින් බෞද්ධයන් සිටින්නේ
‘ප්‍රමුඛස්තානයෙහි’ නොව තුන්වන තැන බවයි.
එසේම බෞද්ධයෙකු වීම නිසා බෞද්ධයෙකුට හිමිවන කිසිදු විශේෂිත වරප්‍රසාදයක් නොමැත. යම් ආගමක් රාජ්‍ය ආගම වූ විට එම ආගමේ අයට විශේෂිත වරප්‍රසාද හිමිවේ. නිදසුනක් ලෙසට බහුතරයක් මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන් වීමට මුස්ලිම් විය යුතුමය. එපමණක් නොව ඇන්ග්ලිකන් එක්සත් රාජධානියේ 1688 සිට 2012 දක්වාම කතෝලිකයෙකුට රජවීමට තහනම්විය. තවමත්, එරටෙහි කතෝලිකයෙකුට රජු හෝ අගමැති වීමට හැකිද යන්න නීතිමය ගැටලුවකි. 2012 වෙනතුරු නොර්වේහි අගමැතිවීමටනම් ලුදරන් ක්‍රිස්තියානි වියයුතුම විය.
හුදු සැරසිල්ලක් වන මේ 9 වන වගන්තිය මගින් කර ඇත්තේ ජාතික උරුමය සහ සම්ප්‍රදායක් පිළිගැනීම පමණකි. මෙබඳු දේ මීටත් වඩා උග්‍ර ආකාරයෙන් අනෙකුත් රටවල දක්නට ලැබේ. නිදසුනකට ‘නිරාගමික’ ඇමරිකාවේ ජනාධිපතිවරු දිවුරුම් දෙන්නේ බයිබලය මත අත තබමිනි. ‘නිරාගමික’ ප්‍රංශය ක්‍රිස්තියානි දින දර්ශනය අනුගමනය කරනවා පමණක් නොව ක්‍රිස්තියානි පාසල්වලට රජයේ ආධාරද ලබා දෙයි. එක්සත් රාජධානියේ සාමි මන්ත්‍රී මණ්ඩලයට ඇන්ග්ලිකන් අගරදගුරුවරු දෙදෙනෙක්ද, රදගුරුවරු 22 ක්ද පත් කෙරේ. එපමණක් නොව බ්‍රිතාන්‍ය රැජින රටේ පමණක් නොව ඇන්ග්ලිකන් සභාවේද නායිකාවයි.
මෙබඳු සම්ප්‍රදායන් සෑම රටකම පාහේ දක්නට ඇති අතර ආගමික සංහිඳියාව බිඳෙන්නේ ඒවා තිබීමෙන් නොව ඒවා අහෝසි කිරීමට උත්සාහ කිරීමෙනි. මෙසේ තිබියදී ජයම්පතී වික්‍රමරත්න මහතාගේ කමිටුව, 9 වන වගන්තිය අහෝසි කිරීම සඳහා වරෙක විකල්ප සූත්‍රණයන් හතක්ම ඉදිරිපත් කර තිබෙනු දැක මම මවිත වීමි. මේ අලුත් ව්‍යවස්ථාව මේ රටේනම් කිසිදු ලෙසකින් සම්මත කර ගත නොහැකි වන බවට මා හට ස්ථිර වූයේ එදිනය.
අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
Facebook Comments