උතුරට ඇත්තටම මොකද උනේ – ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ

උතුරට ඇත්තටම මොකද උනේ – ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ

උතුරු පළාත් සභාවේ නිල කාලය පසුගියදා අවසන් විය. දැන් එහි පරිපාලනය භාරව සිටින්නේ ආණ්ඩුකාරවරයාය. පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට ආසන්නයේ සිදුකෙරුණු නාමපුවරු වෙනස හේතුවෙන් දකුණේ තරමක ආන්දෝලනයක් ද ඇතිවිය. ඒ පිළිබඳත්, උතුරු පළාතේ ජනතාව මුහුණ දුන් ගැටලුවලට පළාත් සභාවෙන් ඉටු වූ සේවය කොතරම් ද යන්නත්, ආවා කල්ලිය, ඉඩම් ප්‍රශ්නය ආදී උතුරට විශේෂිත ගැටලු සම්බන්ධවත්, පළාත් සභාවෙන් තොර උතුරු පළාතේ ඉදිරි පරිපාලන කටයුතු ගැනත් අවධානය යොමුකරමින් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මැති හමුවට එක්වේ.

උතුරු පළාත් සභාව එක්ක පළාත් සභා 7 ක නිල කාලය අවසන්. මේ පළාත් සභාවල පරිපාලනය දැන් තියෙන්නෙ ආණ්ඩුකාරවරුන් යටතේ. මේ තත්ත්වය ගැන ඔබ මොකද කියන්නෙ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පළාත් සභා විසිරවීමත් සමඟම නැවත පළාත් සභාවලට නියෝජිතයන් තෝරා පත්කරගන්නා තෙක් පරිපාලනය මෙහෙයවීම ආණ්ඩුකාරවරයාගෙ වගකීම. මෙහි නීත්‍යානුකූල තත්ත්වය මහ ඇමැතිවරයා ඇතුළු පළාතේ ඇමැතිවරු පස්දෙනෙක් කරපු රාජකාරිවල වගකීම ආණ්ඩුකාරවරයාට පැවරෙනවා. රාජ්‍ය නිලධාරීන් පරිපාලනය පළාත් පාලන ආයතන පිළිබඳව සියලුම බලය පැවරෙනවා. ඒ කටයුතු කාර්යක්ෂමව, නිවැරදිව කරගෙන යාම අපේ වගකීම.

ආණ්ඩුකාරවරයා යටතේ වගකීම් රැසක් පැවරෙනවා. පස්දෙනෙකුගෙ වැඩ ආවරණය තුළ ජනතාවට අසාධාරණයක් සිදුවෙනව නේද?

ආණ්ඩුවක් විසුරුවත් නැවත මැතිවරණයක් පවත්වනතුරු ඇතිවන්නේ භාරකාර රජයක් හෝ වෙනත් පාලන ක්‍රමයක්. රාජ්‍යයක දේශපාලනඥයින් වරින්වර වෙනස් වුණත් රාජ්‍ය තන්ත්‍රය වෙනස් වෙන්නෙ නැහැ. මහ ඇමැති වේවා, ඇමැතිවරු වේවා, දේශපාලන නායකයින් වේවා, රාජ්‍ය නායකයන් වේවා, මේ අය කටයුතු කරන්නෙ තමන්ගෙ පෞද්ගලික ශක්තියෙන් විතරක් නෙවෙයි. ඔවුන්ගේ නායකත්වය යටතේ. ඒ සඳහා වැඩ කරන්න සැදී පැහැදී ඉන්න රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ රාජ්‍ය නිලධාරීන් මෙහෙයවගෙන හරියාකාරව වැඩ කරන්න පුළුවන්. මම කියන්නෙ පළාත් සභාවක් අනවශ්‍යයි කියන එක නෙවෙයි. පළාත් සභාව නැවත පත්කරනතුරු පරිපාලන කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන්.

පළාත් සභා නඩත්තු කරන්න විශාල මුදලක් වැය වෙනවා. මේ තත්ත්වය තුළ පළාත් සභාවල අවශ්‍යතාව ගැන ප්‍රශ්න මතුවෙනවා නේද?

ඒකාධිපතිවාදයට වඩා ප්‍රජාතන්ත්‍රවාදයෙ හැමදාම වියදම් අධිකයි. ප්‍රජාතන්ත්‍රවාදයෙ, මැතිවරණ පවත්වන්න ඕන, මන්ත්‍රීවරු පත්කරන්න ඕන, ඔවුන්ට වැටුප් ගෙවන්න ඕන. වියදම පැත්තෙන් බැලුවම හැමවිටම ප්‍රජාතන්ත්‍රවාදය ඒකාධිපතිවාදයට වඩා වියදම් අධිකයි. යම් පළාත් සභාවක් මේ රටේ ඇතිවෙන්න හේතු වුණේ සංවර්ධනය පමණක් ම නෙවෙයි නෙ. යම් පරිපාලන හේතුත් ඒකට පදනම් වුණා.

උතුරු පළාත් සභාවට ලබා දුන් මුදල් වියදම් නොකොට නැවත හරවා එවූ බවට පහුගිය කාලේ මාධ්‍ය වාර්තා පළ වුණා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

මෙතන තියෙන්නෙ දේශපාලන තීන්දු ගැනීමක්. සමහර ව්‍යාපෘති කරනවට විරෝධතා එල්ල වුණා. ලුණු ලේවායක් පටන්ගන්න හැදුවම ඒකට විරෝධතා ආවා. පෙරසවි නිවාස ව්‍යාපෘතියට විරෝධතා ආවා. හැබැයි මේවා ඇත්තටම ජනතාවගෙ විරෝධතාම නෙවෙයි. මේ මුදල් හරවා යැවීම උතුරේ ජනතාවට කරපු අසාධාරණයක්.

උතුරු පළාතෙ කාර්යාලවල, මාර්ගවල නාමපුවරු වෙනස් කිරීමේදී සිංහල භාෂාවෙන් ස්ථාන නම්කිරීමේදී වැරදි බොහොමයක් සිදුවෙලා තිබුණා. ආණ්ඩුකාරවරයා වශයෙන් ඔබ ඒ සම්බන්ධව දරන මතය කුමක් ද?

මේක වැරදි චේතනාවකින් කරපු දෙයක් නෙවෙයි. භාෂාවේ විවිධ වචන වෙනස්. දෙමළ භාෂාවේ සමහර සිංහල වචන නැහැ. මේ නිසා යම් වැරදි වෙන්න ඇති. හැබැයි ඒවා හිතාමතා කරපුව නෙවෙයි. කොහොම වුණත් ඒව නිවැරදි වෙන්න ඕන. මේවට වැරදි අර්ථකථන දීමත් වැරදියි. මාධ්‍ය මඟින් තමයි බොහොමයක් මතවාද ගොඩනඟන්නෙ. ඒ මතවාද කොච්චර සාධාරණ ද, සත්‍යය ද යන්න විමසිල්ලෙන් බැලිය යුතුයි. සමහර සිද්ධිවලදී ඇත්තටම වෙලා තියෙන්නෙ මාධ්‍ය කියන දේවල් නෙවෙයි.

උතුරේ ජනතාවගෙ ඉඩම් ගැටලුවලට තවමත් නිසි විසඳුම් ලැබිල නැහැ නේද?

ඉඩම් ගැටලුවට විසඳුම් දැන් ලබාදීල තියෙන්නෙ. මේ අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ වෙනකොට ඒ කටයුතු නිමාකරන්න සැලසුම් කරල තියෙනවා. ඉඩම් ගැටලුව සරල පහසු දෙයක් නොවෙයි.

ආරක්ෂක අංශ කියන්නෙ ආරක්ෂක හමුදා ඉන්න ඉඩම් නිදහස් කරන්න නම් ඔවුන්ට වෙනත් තැන්වලින් ඉඩම් ලබාදිය යුතු බව නේද?

ඉඩම් ගැටලුව වගේම උතුරේ ආරක්ෂාවත් ඉතා වැදගත්. ඉඩම් ප්‍රශ්නෙයි, ආරක්ෂාවයි කියන්නෙ දෙකක්. ඉඩම් නිදහස් කිරීම වගේම උතුරේ ආරක්ෂාව සැපයීමත් ආණ්ඩුවෙ වගකීම. මේ දෙක එකක් හැටියට සලකල උත්තර හොයන්න බැහැ.

උතුරේ මහවිරු සැමරුම් ගැන විවිධ චෝදනා එල්ල වෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ.

මිනිසුන්ගේ හදවත් තුළ මිය යන පුද්ගලයන් ගැන ගරුත්වයක් ඇතිවෙනවා. අනුකම්පාවක් ඇතිවෙනවා. ඒක නීතිරීති දාල බලහත්කාරයෙන් අහුරන්න පුළුවන්කමක් නැහැ. මේ වගේ දේවල් පරාජය කළ යුත්තේ ඒ මතවාදය පරාජය කිරීමෙන්. එහෙම නැතුව බාහිරව කරන විරෝධතාවලින් නෙවෙයි. මහවිරු වැඩසටහන්වලට විරුද්ධ වීමෙන් වෙන්නෙ ඒකට අනවශ්‍ය වටිනාකමක් ලබාදීම. සාමාන්‍ය විදියට කරන්න ඉඩදීමෙන් වැඩි කලක් යන්නට පෙර ඒ වැඩසටහන සුළු දෙයක් බවට පත්වෙයි. මහවිරු සැමරුම් හරහා ඔවුන් යම් මතවාදයක් හදන්න හදනව නම් ඒ මතවාදයට විරුද්ධව අපි මතවාදයක් ගොඩනඟන්න ඕන. ඔවුන් මේ හරහා එල්. ටී. ටී. ඊ. එක නැවත ගොඩනඟන්න හදනව නම් ඒ ගැන බුද්ධි අංශ, රජය සොයා බලන්න ඕන.

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීතුමිය මෑතකදී මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. මේ ප්‍රකාශය තුළ තිබුණේ උතුරේ ජනතාව මුහුණදෙන ඇත්තම ප්‍රශ්න කියල සමහරු තර්ක ගෙනෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

තියෙන අඩුවකට උත්තරය හැටියට ඊටත් වඩා බරපතළ වරදක් ආදේශ කරන්න කතා කිරීම වැරදියි. වැරදි තියෙනවා නම් වැරැද්දට වැරැද්දෙන් නෙවෙයි උත්තර දෙන්න ඕන. ඊට වඩා නිවැරදි දෙයකින්. ප්‍රජාතන්ත්‍රවාදයෙ අඩුපාඩු තියෙනවා නම් නැවත වතාවක් අන්ත ඒකාධිපති ත්‍රස්තවාදී සංවිධානයකට අතවනන එක නොවෙයි වෙන්න ඕන. ඒක වැරැද්දක් හැටියට මම දකිනවා.

ආණ්ඩුව ගෙනා හානිපූර්ණ පනත හරහා ත්‍රස්තවාදීන්ට වන්දි ලබාදෙන බවට චෝදනා එල්ල වෙනවා.?

අතීතය අමතක කරල නව ලෝකයක් ගොඩනඟා ගන්න නම් අපි හැමදෙනාගෙම පෑරුණු තුවාල සුවපත් කරගන්න ඕන. එහෙම සුවපත් කරල ඔවුන් මේ රටේ කොටසක් හැටියට අපි බාරගන්න ඕන. අපි බලන්න ඕන ද්‍රවිඩ ද, සිංහල ද, මුස්ලිම් ද, බෞද්ධ ද, ක්‍රිස්තියානි ද කියල නෙවෙයි. බරපතළ හානි වෙච්ච අනන්ත අප්‍රමාණ මිනිස්සු ඉන්නවා. ඒව මුදලින් මනින්නත් බැහැ. මේ අය ත්‍රස්තවාදීන් කියල හංවඩු ගැහීමෙන් වෙන්නෙ බෙදීම තවදුරටත් පළල්වීම පමණයි, කෙළවරක් නැහැ. කැඩිච්ච බිදිච්ච දේවල් නැවත ගොඩනඟන්න ඕන. ත්‍රස්තවාදයට සම්බන්ධ වුණයි කියල ඔවුන් සියලුදෙනා මරල දාන්නද කියන්නෙ? ඔවුන්ට නැවත රැකියා හොයල දෙන්න ඕන. ඔවුන්ගෙ දරුවන් බාරගන්න ඕන. වැන්දඹු කාන්තාවන් ඉන්නවා ඒ අය ගැන බලන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය රටේ ගොඩනැ‍ඟෙන බව ලෝකයට කියන්න පුළුවන් එතකොටයි. උතුරේ සිද්ධ වුණේ සුළුපටු දෙයක් නොවෙයි. තල්ගස්වල කරටියෙ ඉඳලම නැති වුණා. නිවාස බිමටම සමතලා වුණා. එහෙම කොටසක් අපි නැවත ගොඩනඟමින් ඉන්නේ.

උතුරේ තරුණ විරැකියාව ඉහළ ගිහින්. ඒ වගේම තරුණයන්ට වෘත්තීය පුහුණු අවස්ථා නැහැ කියනවා?

පාරවල්, බෝක්කු, යටිතල පහසුකම් හැදුණට උතුරේ ජනතාවගෙ ජීවන තත්ත්වය හැදුණෙ නැහැ. උතුරේ කතාව, දේශපාලනඥයන්, මාධ්‍ය කියන කතාවට වඩා වෙනස්. ජනතාව ඉල්ලන්නෙ ජීවත්වෙන්න ක්‍රමයක්. තරුණයො ඉල්ලන්නෙ රැකියාවක්. උතුරේ ශ්‍රම හිඟයක් තියෙනවා. ඔවුන්ට වෘත්තීය පුහුණුව ලබාදිය යුතුයි. විශේෂයෙන් ඉදිකිරීම් අංශයෙ. විශාල ශ්‍රම හිඟයක් තියෙනවා. උතුරේ රැකියා අවස්ථා බිහිකළ යුතුයි. අලුත් කර්මාන්තශාලා උතුරේ ඇතිකළ යුතුයි. උතුරේ ජනතාවගෙ මේ ප්‍රධාන ඉල්ලීම් ගැන අපි සවන් දෙන්න අවශ්‍යයි.

අතුරුදන්වූවන්ගෙ ගැටලුව තවමත් තියෙනවා. ඔවුන්ට තවම සාධාරණය ඉටුනොවුණු බවයි ඔවුන් කියන්නෙ?

ආණ්ඩුව දැන් අතුරුදන්වූවන්ගෙ ගැටලුවට විසඳුම් ඉදිරිපත් කරල තියෙන්නෙ. අතුරුදන් කියන්නෙ ජීවත් වෙනවාද කියන සැකය ගැනයි. සමහරු හිතනවා මේ අය කොහේ හරි ඇති කියලා. ඒත් එහෙම තත්ත්වයක් ලංකාවේ නැහැ. කාවවත් අභිරහස් ලෙස සඟවාගෙන තියෙන තැන් ලංකාවේ නැහැ. අතුරුදන්වූවන් ගැන සොයා බැලීමේ කාර්යාලය ඇතිකළේ මේ නිසයි. අතුරුදන්වූවන්ගෙ ගැටලුවලට මේ කාර්යාලය හරහා උත්තරයක් ලැබෙයි. අතුරුදන්වූවන්ගෙ ඥාතීන්ට අතුරුදන්වූවන් ගැන යම් සහතිකයක් දිය යුතුයි. ඒකට අවශ්‍ය කටයුතු දැන් සැකසෙමින් තියෙනවා. ඥාතීන්ගේ සැකය අපි නතර කළ යුතුයි.

යාපනය විශ්වවිද්‍යාලයේ වරින්වර ඇතිවෙන සිසු ගැටලුවට ජාතිවාදී ප්‍රවේශයක් දෙන්න හදනවා. මේ ගැන මොකද කියන්නෙ?

මේ තරුණ ජවය උපරිමයෙන් ක්‍රියාත්මක වෙන කාලය. ඔවුන්ගෙ සිතුවිලි වෙනස්, සාධාරණත්වය, සමාජ හැඟීම් ගැන තදින් කතා කරන කාලය, විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිත් ඒ අය කරන්නෙ වෙන දෙයක්. විශ්වවිද්‍යාලයෙ ඉන්නකොට කියපු සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය එළියෙදි නැහැ. රැකියාවක් හොයාගෙන ජීවත්වෙන්නෙ කොහොමද කියන එකයි ඊළඟට ඔවුන් කල්පනා කරන්නෙ. ඒ තුළ වෙන දේවල් ජාතිවාදීව විග්‍රහ කිරීම හානි කරයි. ඒ වෙන දේවල් අනුමත කරන්න බැහැ.

උතුරේ ආරක්ෂාව බරපතළ බිඳවැටීමකට ලක්වෙලා. ආවා කල්ලිය ජනජීවිතය අඩාල කරන බවයි කියන්නෙ?

මේ අපරාධ වෙන ආකාරය ගැන ආණ්ඩුකාරවරයෙක් හැටියට මම සොයා බලනවා. රටේ අනෙකුත් පළාත්වලට සාපේක්ෂව උතුරේ අපරාධ විශාල වශයෙන් අඩුයි. පාතාලය, කුඩු, මත්ද්‍රව්‍ය අපරාධ ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ ආශ්‍රිතව කොච්චර වෙලා තියෙනවද? ඒවට සාපේක්ෂව උතුරේ වෙන්නෙ ඉතාම අඩුවෙන්. කඩුවකින්, පිහියකින් කපාගැනීමක් තමයි උතුරෙන් අහන්න ලැබෙන්නෙ. ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි තබාගැනීම්, බෝම්බ ගසාගැනීම්, කුඩු, පාතාලය ගැටුම් වෙනත් තැන්වල කොච්චර වෙනවද? හැබැයි උතුරෙ පොඩි දෙයක් වුණත් මාධ්‍ය ඒ ගැන හරි උනන්දුවෙන් කතා කරනවා. මාධ්‍ය ප්‍රචාරවලින් මොනව කිව්වත් සාපේක්ෂව උතුරේ අපරාධ අඩුයි.

උතුරෙත් හැමදාම නැ‍ඟෙන මැසිවිල්ලක් තමයි ඔවුන්ට නිසි පිළිගැනීමක්, හරි සංවර්ධනයක් නොලැබෙන බව. උතුරේ ආණ්ඩුකාරවරයා හැටියට මේ ගැන ඔබ මොකද කියන්නෙ?

උතුරේ එදා හිටපු නායකයන්ගෙන් පස්සෙ එකම කර්මාන්තශාලාවක්වත් හැදුණෙ නැහැ. සංවර්ධන ව්‍යාපෘති ඇතිවුණේ ඉතාම අඩුවෙන්. සුද්දගෙ කාලෙ ඉඳලම උතුරට ලැබුණෙ අඩු සැලකිළි. මේ ගැන බැලුවම උතුර විශේෂකොට සංවර්ධනය වෙන්න ඕන.

දුමින්ද සම්පත්ගේ වාර්තාවක් (උපුටාගනිමකි)

Facebook Comments