උඩරට දුම්රිය මාර්ගය තවමත් යථා තත්වයට පත්වී නෑ – මාර්ග කිහිපයක්ම ධාවනය නතර වේ

උඩරට දුම්රිය මාර්ගය තවමත් යථා තත්වයට පත්වී නෑ – මාර්ග කිහිපයක්ම ධාවනය නතර වේ

මේ දින වල පවතින කාලගුණික වෙනස්කම් නිසාවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට පවා විශාල බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.ඒ අනුව ඊයේ (05) රාත්‍රීයේ හීල්ඔය සහ ඇල්ල අතර ප්‍රදේශයේ දී පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බදා එල්ල වු බැවින් එම මාර්ගයේ දුම්රිය ගමනා ගමනය බණ්ඩාරවෙල දක්වා පමණක් සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන ලදී.

මේ සමග බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ රාත‍්‍රී තැපැල් දුම්රිය හීල්ඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කෙරුණි. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වීමට තිබූ උඩරට මැණිකේ දුම්රිය බණ්ඩාරවෙලට සීමා කිරීමටත් පියවර ගැණුනි.

දුම්රිය පාලක මැදිරියෙන් මීට නොබෝ වේලාවකට පෙර කළ විමසීමකදී එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරීමට තවත් සැලකිය යුතු වේලාවක් ගතවනු ඇති බවයි.

එමෙන්ම ප්‍රධාන දුම්රිය මාර්ගයේ සහ කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටද මේ වන විට බාධා එල්ල වී තිබේ.දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ වේයන්ගොඩ සහ පොල්ගහවෙල අතර ප්‍රදේශයේ දී දුම්රියක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවය.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොට්ටාව සහ හෝමාගම අතර ප්‍රදේශයේදී දුම්රියක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇත.

Facebook Comments