ජ.වී.පේ මහින්ද පරාජය කිරීමට සුදානම් බව කියයි

ජ.වී.පේ මහින්ද පරාජය කිරීමට සුදානම් බව කියයි

විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (5) පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි විය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සහ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

මේ හමුවේදී සිදු වූ දේ පිළිබඳව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ අද උදෑසන වීඩියෝ නිවේදනයක් ෆේස්බුක් ඔස්සේ නිකුත් කරනු ලැබීය. එහිදී අදහස් දක්වමින් ලාල්කාන්ත මන්ත්‍රීවරයා සඳහන් කලේ මෛත්‍රී මහින්ද හවුලේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමට පාර්ලිමේන්තුව තුලදී හා ඉන් පිටතදීත් කටයුතු කරන බවයි. ඔහුගේ සම්පූර්ණ අදහස් දැක්වීම මෙසේයි,

“ජනතා විමුක්ති පෙරමුණ විදිහට නිල වශයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයත් එක්ක සාකච්චා කළා. මෙහි අරමුණ උනේ රටේ බිඳ වැටිලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම.

ජනාධිපත් මෛත්‍රීපාල සිරිසේන ඒ වගේම මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවන ක්‍රියා මාර්ගයකට ප්‍රවේශ වෙලා ඉන්නවා. මේක පරාද කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්. මොකද ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමෙන් වැඩිපුරම බැට කෑවේ, ඉතිහාසය පුරාම ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම උතුරේ ජනතාව.

ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා මේ මොහොතේ විපක්ෂයේ පක්ෂ සහ තවත් කණ්ඩායම් එකාබද්ධ කරගෙන ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබෙනවා. අපි එහෙම තීරණයක් ගත්ත පක්ෂයක් විදිහට.

TNA එක ඇතුළු තවත් සංවිධානත් එක්ක සාකච්ඡා කරලා, දැනට වෙන වෙනම කරගෙන යන විරෝධතා එක්ව අරගන්න. ඒක පාර්ලිමේන්තුව අතුලේදීත් පාර්ලිමේන්තුවෙන් පිටටත්. ඉදිරියේදී පාර්ලි‌‌මේන්තුව කැඳවන්න කියන බලපෑම එක්කම.. කැඳවා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදය සඳහා එක්ව ක්‍රියාමාර්ග ගන්නත්, එක්ව කටයුතු කරන්නත්, එළියේදී එක්ව කටයුතු කරන්නත්, තමයි අද සාකච්ඡාවේ අරමුණ උනේ.

ඒක සාර්ථකයි. අප දෙපාර්ශවය ක්‍රියාමාර්ග ගණනාවක් සම්බන්ධයෙන් එකඟතාවයකට ආව. ඒ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි ඉදිරියේදී ඒ ඒ අවස්ථාවට එකට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”

Facebook Comments